Wednesday, May 7, 2014



“ පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ.. ”

විරහව විඳින පෙම්වතෙකුට, තනිකම විඳින තනිකඩයෙකුට ගුණදාස කපුගේ ශූරීන් ගයන මේ ගීය තරම් වටිනා යමක් නොමැති තරම්ය. කෙසේ වෙතත් ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගීතයට පාදක කොටගෙන ඇති වස්තුබීජය “ප්‍රේමය” මාතෘකාවෙන් තරමක් ඔබ්බට යන්නකි..
එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ල තුලින් ඊට දායක වූවෙකු එයින් ලබන පරාජයත් සමග කැලයේ සැඟවී සිටිද්දී ඔහුට දැනෙන තනිකම, සගයන්ගෙන් ඈත් වීම තුලින් ඇති වූ දුක මේ ගීතය රචනා කිරීමෙහිලා රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ට හේතු වී ඇත..
උලලේනා, උලමා හා බැඳුනු විවිධ කතාන්දර හා මතයන් ගැමි සමාජය තුල පැවතිනි.සමස්තයක් ලෙස සලකද්දී උලලේනා කෙරෙහි සමාජය තුලින් ජනිත වන්නේ එතරම් සුභවාදී ආකල්පනම් නොවෙයි. උල ලේනෙක් හැඩීම ගමක ආසන්න මරණ සතක් සිදුවීමට හේතුවක් බවද ඇතැම් කතා තුල ඇතුලත්.
කෙසේ වෙතත් “උලලේනෝ” පදය භාවිතා කිරීම තුලින් ගීතය තුලින් දනවන්නට උත්සහ කරන පාළුව, දුක ,අසුභවාදී බව දෙගුණ තෙගුණ වී තිබෙනවා.

පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ..
කිසිවෙකුත් නොමැතිව තනිව වනයේ දිවි ගෙවන ඔහුට මෙන්ම අනිත් සගයින්ටත් මේ උදා වී ඇත්තේ ඉතා නරක කාලයක්.. උලලේනාගේ හඬේ ඇති දුක්කිත බව නිසා අ තනිකම තවත් තීව්ර වන හෙයින් ඔහු උලලෙනාගෙන් අසරණව යදින්නේ හැඳීම නවත්වන ලෙස..

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ...
ඔහු මේ ගෙවන්නේ සැප පහසු කාලයක් නොවෙයි. සීත සුළං හිරිකඩයි යනුවෙන් රචකයා අදහස් කර ඇත්තේ ඔහු සිටින අපහසු තාවයයි.. වනයේ ජීවත් වෙන ඔහු උලලේනා හට පවසනවා උලලේනාට පිහාටු පමණක් තිබෙන්නක්මෙන් ඔහුටද ඉතිරිව ඇත්තේ අටවා ගත් පැල්පත පමණක් බව.
ඉහිරුණු කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මම මේ
කවිය කියන්නේ
උලලේනෝ....

සිදු වූ සියල්ල සිදු වී හමාරයි දැන් තව දුරටත් හඬා පලක් නොවෙයි. තමා අවබෝධ කර ගත් දුක ඔහු උලලේනාටද කියා දෙයි.
සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
උලලේනෝ..

කැරැල්ල අසාර්ථක වී සිය සගයින්ද දිවි පුදා හමාරය. නමුත් ඔහු තවම සිය විමුක්තිය අත් හැර පරාජය භාර ගැනීමට සුදානම් නොමැත. එවැනි අරගලයකදී වියෝගයන් ඇතිවන බව ඔහු නොදැන සිටියා නොවේ.. මේ දුක් සියල්ල අවසන් වෙන්නේ කෙසේ හෝ ඔවුන් ඔවුනට අවැසි ලෝකය ලබා ගත් දැක්ම පමණි.. ඔහු තමන්ට සිටින එකම මිත්‍රයා උලලෙනාට පවසයි..

ගීතය එසේ අවසන් වත්ම තවත් පැනයක් සිතේ පවතියි.. ඒ “උලලේනා” යනුවෙන් මෙම ගීතයේ හඳුන්වා ඇත්තේ දුක් විඳින, අසරණව තම දුක කියා ගැනීමට නොහැකිව හඬන සමස්ත ජනතාවදෝ..කියායි..
ගීතයේ ප්‍රස්තුතය එසේ වෙද්දී ගීතය රස විඳින ශ්‍රාවකයින්ට ඔවුනොවුන්ගේ ජීවිත වලට, මාතෘකා වලට ගීතය ඈඳා ගැනීමට සම්පූර්ණ ඉඩ හසර රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ඉතා විශිෂ්ට ලෙස ලබා දී ඇත..

ගායනය : ගුණදාස කපුගේ
පද : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ගුණදාස කපුගේ

BY - Ravi Dodampegama








ළඳුනේ..ළඳුනේ...
 ඔබේ දෑස දැකගත්තෙමි
 සැඳෑ කලෙක ළඳුනේ..

 අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬින් ගැයුන ළඳුනේ ගී පද පේලි රසික හද දිනා ගනිද්දී ගීතයේ අර්ථය පිළිබඳවද යම් තාක් දුරකට රසික අවධානය නිරායාසයෙන්ම යොමු උනා කීවොත් නිවැරදියි.. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් අතින් ලියවුනු ගීතය සංගීතවත් වුනේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අව්‍යාජ සංගීතයෙන්.. ගීතයක වචන වලට, හැගීම් වලට පන දෙන්න කේමදාසයන් තරම් තවත් විශිෂ්ටයෙක් සිටි නැති තරම්.. විටෙක එතුමා මේ ගීතය පිලිබඳ පවසන්නේ මානව දයාවෙහි උපරිම තලය ස්පර්ශ කරන ගීතයක් ලෙසයි. ඔබද මේ ගීතයෙන් කියවෙන්නේ කුමන ආකාරයේ ළඳක් පිලිබඳවදැයි දන්නවාට නිසැකයි.. සරලවම කිවහොත් ගීතයෙන් කියවෙන්නේ සමාජය තුල නොයෙක් අයුරින් ගැරහුමට ලක්වෙන ගණිකා වෘත්තියේ නියැලෙ සිටින කාන්තාවක් ගැනයි. ගීතයේ සරල අර්ථය එසේ වෙද්දී ගීතය පිටුපස තිබෙන අනුභූතිය යම් සිද්ධි දාමයක් හරහා බැඳුනක්.
 ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරෙකු මුහුණ දුන් සැබෑ සිද්ධියක් තමයි ගීතයට නිමිත්ත සපයා තිබෙන්නේ. එම මිතුරා එවකට මහනුවර අලුතින් නවාතැන් ගන්නට ලැබුනේ බෝඩිමක. එහි සගයන් පුරුද්දක් ලෙස සිදු කල දෙයක් තමයි සිය වැටුප ලැබුන දිනයට ආසන්න දිනයක ගණිකාවක් බෝඩිමට ගෙන ඒම. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට මෙය තරමක් නුහුරු අත්දැකීමක් වුනා. තම අන් සගයන්ට වඩා තරමක් වෙනස් කෙනෙකු වූ ඔහු මෙම ක්‍රියාව ප්‍රතික්ෂේප කළා. සුපුරුදු ලෙසම රාත්‍රියේ බෝඩිමේ සගයන් පිරිස අභිසරුලියක් සමග ලැගුම් ගන්නට යෙදුනා. එම දිනට පසුවදා යෙදී තිබුනේ පෝය දිනයක් නිසා පසුදා සවස දළදා වඳින්නටත් පිරිස පිටත් වෙනවා. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට එක්වරම පෙර දින රාත්‍රියේ ඔහුගේ බෝඩිමේ සගයන් සමග පැමිණි කාන්තාව ඇස ගැටෙනවා. මිතුරන්ටද ඇයව හඳුනා ගැනීමට එතරම් අපහසු නොවුනත් කිසිවෙක් නාදුනනා සේ සිටිද්දී ඇයද ඔවුන්ව මග හැර යනවා. මිත්‍රයාට එය තරමක් සිතේ කම්පනයක් ඇති කල කරුණක් බවට පත් වෙනවා. පෙර දින ඇයව ඇසුරු කල මිතුරන්ද ඇයව දැන් ප්‍රතික්ෂේප කරන්නේ ඉතා පිළිකුල් සහගතවයි. මේ සිද්ධිය කන වැකෙන රන්බණ්ඩා මහතා මේ දෙස බලන්නේ වෙනත්ම කෝණයකින් සැබවින්ම වැරදි කව්රුද, මෙම කාන්තාවට සමාජය ඉදිරියේ ඇති තත්වය කුමන ආකාරයේ එකක්ද යැයි නිසැකයෙන්ම ඔහුට සිතෙන්නට ඇති.. “ළඳුනේ..ළඳුනේ..” යන යෙදුම භාවිතා කරමින් ඉතා දයාබර ලෙස ඇයව ආමන්ත්‍රණය කරන්නේද ඒ හේතුවම නිසා වන්නට ඇති....

 ළඳුනේ..ළඳුනේ..
 ඔබේ දෑස දැකගත්තෙමි
 සැඳෑ කලෙක ළඳුනේ..
 දෙනෝදහක් අතගත්තද
 සැමියකු නැති ළඳුනේ.....
 ඇය කොතරම් පිරිමින් ඇසුරු කරන්නට ඇතිද.. නමුත් ඇයට තවම ස්වාමියෙකු නැත. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් සමාජයේ බහුතරය මෙන් ඇය හට දොස් පැවරීම බැහැර කොට ඇයව විග්‍රහ කර ගැනීමට උත්සහ දැරීමක් සිදු කරනවා...

 නෑයෙක් නෑකම නොකියන
 වීදි සරණ ළඳුනේ
 තෙල් මල් ගෙන දෝතපුරා
 මුනිකුටියට පියමං වන
 ඔබේ දෑස දැක ගත්තෙමි
 සඳෑ කලෙක ළඳුනේ....
 බුදුන් දැක නිවන් දකිමැයි
 දෙව්-රම යන පාර අහන
 ඔබද පටාචාරවකි
 ඔබද කිසා ගෝතමියකි...

 ජීවිතය යන්තමින් හෝ අමුණා ගැනීමට මුදල් සොයා ගැනීමට ඇයට සිදුව ඇත්තේ වීදි වල සරි සරීමටයි. නෑදෑයෙකුවත් නොමැති ඇයට ඇති එකම පිහිට බුදුන් සරණයි..
 බුද්ධ කාලයේදීද අසරණ වූ කාන්තාවන් නිවනට යොමු වූ ලෙස ඇයද බුදුන් සරණ පතයි. එනිසාම ඇය බුදුන් කල පටාචාරාවක්.! කිසා ගොතමියක්.!

 පිරිමින්ගේ පාප කන්දට
 දෝස විඳින ළඳුනේ
 අඳුරේ පව් කරන දනා
 එළියේ රවන ළඳුනේ....
 ළැම පමනක් ලොවට පෙනෙන
 ළය නොපෙනෙන ළඳුනේ
 කුහුඹුවකුට වරදක් නැති
 වැරදිකාර ළඳුනේ...

 ඇයට හිමිව ඇති සමාජ තත්වය උදෙසා සැබවින්ම වග කිව යුත්තේ ඇය පමණක්ම නොවෙයි. ඇය සියලු ගැරහුම් ලබන්නේ ඈ වෙත පැමිණෙන පිරිමින් නිසාවෙනි. රාත්‍රියේ ඇගේ පහස ලබන්නන් සමාජය ඉදිරියේ කිසිඳු පවක් නොකරන්නාක් මෙන් ඇයව හෙලා දකියි.

 සමාජය සම විටම දකින්නේ අයගේ මතුපිට ස්වරූපය පමණකි. ඇය මෙම තත්වයට ඇද දැමීමට හේතු වූ කරුණ කුමක්ද, කොතරම් දුකක් ඇගේ සිතේ ඇතිද යන්න රචකයා ශ්‍රාවකයාගෙන් සියුම් ලෙස ප්‍රශ්න කරනවා.. අවසානයේ ඇය දෙස යතාර්තවාදීව නිගමනයකට එළඹෙනවානම් ඇය කිසිවෙකුට කල වරදක් නොමැත. නමුත් සමාජය ඉදිරියේ ඉබේම වැරදි කාරියක් බවට පත් වී තිබේ..

 "ළඳුනේ.." ගීතය ගැන තවත් කිව යුතුම දෙයක් ඇත.ඒ මේ ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාව යොදා ගැනීම අහම්බෙන් සිදු වූ බවයි. ගීත පටිගත කිරීමට සියලු කටයුතු සුදානම් කොට තියෙද්දිත් පෙර මෙම ගීතය ගායනය කිරීමට දායක වීමට සිටි ගායකයා පැමිණියේ නැත. එවිට කේමදාසයන්ට සිහි වුවේ සිය වාදය වෘන්දයේ එවකට වයලීනය වාදනය කරන අමරසිරි පීරිස් මහතාවයි.. එසේ මෙම ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාට වරම් ලැබුණු අතරම ඔහුගේ හඬ ගීතයට ගැලපෙන අයුරු ඉවෙන් මෙන් කේමදාසයන් දැන ගැනීමෙන් ඇති විශිෂ්ට නිර්මාණයක් සමග ඇති විශිෂ්ට ගායන ශිල්පියෙක් රටට දායාද විය ...

 ගායනය : අමරසිරි පීරිස්
 පද : රන්බණ්ඩා සෙනෙවිරත්න
 සංගීතය : ප්‍රේමසිරි කේමදාස

BY - Ravi Dodampegama




සඳකඩ පහණක කැටයම් ඔපලා
 පාවෙන දේදුනු ලැගුම් ගනී...

 ගායක සුනිල් එදිරිසිංහයන්ගේත් රචක වොලීනානායක්කාරයන්ගේත් සංගීත අධ්‍යක්ෂක වික්ටර් රත්නයකයන්ගේත් කුළුඳුල් නිර්මාණ දායකත්වයෙන් පන ලබන සඳකඩ පහණක ගීතය ඇතුලත්ව තිබුනේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ “මාතර ආච්චි” චිත්‍රපටයෙයි.
 ගීතයේ අර්ථය සොයා යාමේදී පද වලට විවිධ අර්ථකතන ලබා දීමට ශ්‍රාවකයින් හා විචාරකයන් උත්සුක වී ඇති බව පැහැදිලි වේ.
 විටෙක ඇතැමෙක් පැවසුවේ මෙය අරුත් සුන් ගීයක් යනුවෙනි. පද වල සම්බන්දතාවක් හරි හැටි අඳුනා ගත නොහැකි වීමම ගීතයේ පද කෙරෙහි මහා අරුත්බර පෞර්ෂයක් ගෙන දුන්නා යැයි තවකෙකුට කිව හැකිය.

 කෙසේ වෙතත් ගීතයේ පද පිළිබඳව එළඹිය හැකි පොදු නිගමනය වන්නේ එය අතිශය පෞද්ගලික ගේය පද රචනයක් බවයි. සාමාන්ය රසිකයා පමණක් නොව ඇතැම් ගීත විචාරකයින් පවා සඳකඩ පහනක ගීතයට විවිධ අර්ථකතන ලබා දී ඇත්තේ එබැවිනි.......
 ගීතයක් ලෙස ඇති සාර්ථකත්වයක් ලැබූ සඳකඩ පහණක ගීතයෙහි අර්ථ රසය පිලිබඳ බොහෝ දෙනා තුල පැනයක් පැවතුනද මාතර ආච්චි චිත්ර පටය නැරඹීම හා එහි ගීතයට අදාළ සිනමා රූප පෙළ ඈඳා ගැනීම තුලින් පද වල අරුත්බර බවක් මතු කර ගත හැකිය.

 චිත්ර පටයට අනුව එහි පෙම්වතාට වැඩි දුර අධ්යාරපනය සඳහා විදේශ ගත වීමට සිදු වෙයි.පෙම් වතියට නිවසෙන් විවාහ යෝජනා පැමිණෙයි.එම බල කිරීම් නිසාම ඇය විවාහ පත්වන අතර නැවත මව්බිමට පැමිණෙන පෙම්වතාගේ සිතුවිලි මෙම ගීතයෙන් විදහා දැක්වීමක් සිදු කෙරෙයි.

 සඳකඩපහණක කැටයම් ඔපලා
 පාවෙන දේදුනු ලැගුම් ගනී
 කැළැතුණු රසයක පැන ආ බුබුළක්
 අකුරු වැලක් දෙහදක ලියැවේ..

 සඳකඩ පහනක තිබෙන කලාත්මක කැටයම් ඔප් නංවමින් අ මත වර්ණවත් දේදුන්නක් ලැගුම් ගන්නාක් මෙන් පවතී පෙම හදිසියේ බිඳ දමමින් නික්ම යන්නට සිදු වීම හේතුවෙන් අන් කෙනෙකු සමග විවාහපත් වීමට පෙම්වතියට සිදු වෙයි.
 යුගයෙන් යුගයට නොමියෙන දහමක
 දිවියක පදනම මතුවෙද්දී
 නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
 සියුමැලි කැකූළක් මැළවෙද්දී
 කාලයාගේ අවෑමෙන් නොමියෙන ලෙස ප්රේනමය ස්ථාවර කර ගැනීමට හැකි අයුරින් ජීවිතය තුල ස්ථාවර බවක් පෙම්වතා තුලින් ඇති වෙත්ම පෙම්වතියගේ අකමත්තෙන්ම ඇයව යලි හිමි කර ගත නොහැකි තරම් දුරක (විවාහයක) ගෙනගොස් ඇත..
 දහසක් පෙති මත රහසක් කොඳුරා
 තුඩින් තුඩට ගෙන යන බිංදු
 ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
 පොපියන දෙතොළක් එහි කැන්දූ

 අහසක් ගුගුරා කළුවක් වපුරා
 ඒ හා මුහුවන වැහි බිංදු
 ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
 තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

 මී මැස්සෙකු මල් ගණනාවකින් රොන් ගෙන සදන්නාවූ මේ වදය තැන්පත් කරන්නේ ඉතා ඉහල ස්ථානයකය. ඒ අන් කිසිවක් නිසා නොව ආරක්ෂාව සඳහාම වෙයි. නමුදු අහස කළු කර අද හැලෙන එක වැස්සකට එම මී වදය සේදී යන්නාක් මෙන් සිදු වීමකට දැන් ඔවුන් මුහුණ පා සිටී. මේ වන විට නටඹුන් වී හමාර ඔවුන්ගේ ප්‍රේමය තුලින්ම තව කෙනෙක් ඈ වෙත ඔහුගේ සිත පුදා හමාරය.

 හදවිල ඉපදුණු කැකුලක් නොකලක
 නටුවෙන් ගලවා දුරක යවා
 මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
 සත්සමුදුරකට මුසුවගියා
 ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
 එක්ටැම් මැදුරක කවුළු අරා
 රුවන් විමානෙට පියඹා
 පොපියන හදවත සිටී බලා

 ප්‍රේමයේ මල් දරන්නට පෙරම දෙදෙනාට වෙන්නට වීමෙන් කඳුළු කොතෙකුත් පොළොවට වැටුනද දන් ඒ දුක පහ වී ගොස් ඇත්තේ කඳුලක් සාගරයට එක් වූ විට ඒ කඳුල සොයා ගැනීමටවත් නොහැකි වන්නාක් මෙනි..
 පෙම්වතිය සිය කැමැත්තෙන් තොරව යුග දිවියට එළඹුනද, ඇය නැවත ඒවි යැයි පෙම්වතාගේ හදවත තවමත් බලාපොරොත්තු දල්වා බලා සිටි.....

 ගායනය - සුනිල් එදිරිසිංහ
 පද - වොලී නානායක්කාර
 සංගීතය - වික්ටර් රත්නායක
BY - Ravi Dodampegama


සමනළයා මල හා ළමයා සේ.....
 ගීතය අසන්නෙකුට මනසේ මැවෙන්නේ කෙළිදෙලෙන් කල් ගෙවන ළමයෙකුගේ චිත්ත රූපයක්. බහුතර රසික පිරිසකට එය එසේ වුවත් මේ ගීතයේද විශාල වටිනාකමකින් යුතු අරුතක් ගැබ්
 වෙලා තිබෙනවා...
 සමනළයා මල හා ළමයා සේ
 බාල ළමා වයසේ
 පෙර තිදෙනා සිටියේ එක යායේ
 ජීවිතයේ අරුමේ..
 සමනලයා, මල , ළමයා යන පද ත්‍රිත්වයේ භාවිතාව ගීතය පුරාවටම යෙදෙන නිසා ඒ පිළිබඳව ප්‍රථමයෙන් විමසා බැලීමක් සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ.. ළමයාට මලකින් ඇති ප්‍රයෝජනය කුමක්ද..? සමනලයාට ඇති ප්‍රයෝජනය..? සමනලයා මලෙන් රොන් උරා බී මල තනි කොට තවත් මලකට ඉගිල යයි. නමුත් ළමයා මලෙන් කිසිවක් බලාපොරොත්තු නොවී මලට සිය අසීමිත ආදරය දැක්වීමයි..
 සරලවම ගීතයෙන් කියවෙන්නේ චරිත ත්‍රිත්වයක් ගැනයි. මලකට සමාන කොට තිබෙන්නේ රුවැති, ප්‍රේමයට අත්පොත් තැබීමට සැරසෙන යව්වනියක්. මැයට ඉමහත් ලෙස ආදරය කරන තරුණයෙක් මෙහි දෙවැනි චරිතය වෙනවා. ළමයාට සමාන කරන්නේ එකී තරුනයාවයි.. එනමුත් තරුණියගේ සිතේ මේ තරුණයා කෙරෙහි ආදරයෙන් බැඳීමට තරම් කැමැත්තක් තිබුනේ නෑ. ඇගේ සිතගොස් තිබුණු තවත් තරුණයෙක් ගීතයේ තෙවැනි චරිතය වනවා..ඔහුව රචකයා සමාන කරන්නේ සමනලයාට.. සමනලයා මල කෙරෙහි ආදරයක් නොතිබුන අතර එකම අරමුණ වුනේ පෙර කී පරිදිම මලෙන් රොන් බී මල තනි කර යෑමයි...
 සමනලයා, මල හා ළමයා ජීවිතය ගැන හරි හැටි අවබෝධ නොගත් කාලයේ එක්ව කාලය ගත කරා.. පුදුමාකාර ජීවිතය තුල මේ චරිත තුන තව දුරටත් එක්ව හිඳින්නේ නෑ..
 මලට වසා පැණි බී රිසි සේමා
 සමනළයා පියැඹූ දවසේ
 ඒ මල ගාවා ඒ පොඩි ළමයා
 දෑස වසා සිටියා.....
 තරුණියට ආදරය නොදක්වන, එහෙත් තරුණියගේ ආදරය දිනා ගත ව්‍යාජ පෙම්වතා හෙවත් සමනලයා සිය අරමුණ ඉටු කර ගත පසු මල තනි කර යන්නට යනවා.. එය එසේ සිදු වුනත් තරුණිය තනි නොකරන, ඇයට සැබෑ ලෙසම ආදරය කරන තරුණයා කිසිවක් නොදුටු ලෙස සිටින්නේ ඇයට තියන අසීමිත ආදරය නිසාම විය යුතුය..
 මලට නොවේ දැණුනේ දුක කාගේ
 පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
 ඒ මල නොදනී ඒ මල පරවී
 සමනළයා කොතැනේ....
 තරුණිය කෙරෙහි සැබෑ ලෙසම ආදරය කරන තරුණයා ගැන පෙර සිටම ඇය දැන සිටියත්, ඇය නිසා ඔහුට දුකක් උරුම වන බව ඇය දැන සිටියත් ඒ කිසිවකින් ඇයට පලක් වුනේ නෑ. ඇගෙන් සිය අරමුණු ඉටු කර ගත් ව්‍යාජ ආදරවන්තයා ඇය තනි කර ඉගිලී යනවිටත් ඇයට නොදැනීම ඇය බොහෝ ප්‍රමාද වී හමාරයි.. තවමත් ඇගේ දුක දැනෙන සැබෑ පෙම්වතා ඈ වෙනුවෙන් හඬත්දී ගීත රචකයා පැනයක් ලෙස “පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ” යන යෙදුම භාවිතා කරන්නේ නැවත වරක් ඇයට සැබෑ ලෙසම ආදරය කරන පෙම්වතාගේ ආදරයේ තරම රසිකයාට පසක් කරවීමට මෙනි...
 ගීතයට භාවිතා වන්නේ ඉතාමත් සරල පද පමණකි. නමුත් ගම්‍ය වන අරුත ඔබ, මා සැබෑ ලෙස දකින ජීවිතයේ තවත් එක් යතාර්තවාදී පැතිකඩකි. පුදුම වීමට කරුණක් නොමැත. මේ ගීතයේද රචකයා වන්නේ ඔහුමයි.ඔහු නමින් ප්‍රේමකීර්ති ද අල්විස් .!!
 ගායනය - එඩ්වඩ් ජයකොඩි
 සංගීතය - සරත් ද අල්විස්
 ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

BY - Ravi Dodampegama